Monday, September 19, 2011

වර්ණසේන හෙවත් chater බුවා ( a short story )


දැඩි හිරු එළියට මුළු පොළවම කර කුට්ටන් වී ගොසිනි. වැටුනු පිහිඹියා කොළ තද දුඹුරු පැහැ වන තෙක් පිච්චි ගොසින්ය. දශමයක් සෙලවුනත් චරස් බරස් ගා සද්ද වන්නේය. එහෙයින් වර්ණසේන එකදු අඬුවක් වත් නොසොල්වමින් කොළ ගොඩ මත සිට ඝණ රළු හමට අව්ව වැටෙන්නට සැලැස්සුවේය. දැනෙන සනීපයට ඔහුගේ ඇස් භාගයට පියවී ගියේය.
‘’ඒයි උඹ ඔතන ඉන්නවද? මට පේන්නේ නැහැ .............. ‘’ තණ කොළ ගොල්ලෙන් එහාට අඩියක් තියා ගන්නට නොහැකිව කොළ පාට කටුස්සා හරිත ඇසුවේය.
‘’ආ ඔව් ඔව් මම ඉන්නවෝ.................! ඔන්න බලා ගනින්.............. ‘’
හරිත වඩාත් ප්‍රිය කරන තැඹිලි පාටට හැරෙමින් වර්ණසේන කීවේය.
‘’ආපෝ ඇති ! ඇති! ආයේ හිටපු පාටටම හැරියන් ......... උඹට ඔය පාට ඇරෙන්න වෙන පාටක් තිබ්බෙම නැද්ද ……..‘’
තැඹිලි පාට ඔහුගේ ප්‍රියතම පාට වුවත්, ඔහුගේ මතකයේ ඇත්තේ වෙනස් ලෙසකටය. යම් හෙයකින් තැඹිලි පාට මතක් වී ඔහුට ඇය මතක් වුවහොත් ................ වැසි කාල ගණනාවක් පුරා ඔහු යෙදූ උත්සාහය අපතේ යන්නේය.
‘’උඹ දැන් වැහි කාල කීයක් නොකඩවා කොළ පාටට හිටියද? ………‘’වර්ණසේන ඇසුවේය.
‘’මේ හරියටම තුන් වෙනි වැහි කාලේ........... ‘’  ඔහු ගණනකට නොගෙන කීවද, එහි යම් ආඩම්බරකාර බවක් විය.
‘’ ඇත්තම කියපං! උඹ ඔය වැහි කාල තුනටම එක පාරක්වත් අර රෝස පොහොට්ටුව මතක් වෙලා රතු පාට උනේ නැද්ද ..........? ‘’ තමාගේ දහ අතේ දුවන සිත ගැන සිතමින් වර්ණසේන ඇසුවේය.
‘’ මං අහන්නේ නිකං තැඹිලි පාට වෙන දෙයත් දැකලවත් උඹ රතු පාට උනේ නැද්ද?........‘’ වර්ණසේන ප්‍රශ්නය දිග්ගැස්සුවේය.
‘’පිස්සුද ඕයි ..........! එහෙනම් තෝ තැඹිලි පාට වෙච්ච වෙලාවේ මං වෙනස් වෙන්න එපැයි........... ‘’ සුපුරුදු ලෙස ඔහු නුවණක්කාර තර්කයක් ඉදිරිපත් කළේය.



මහා සම්මත වර්ණ න්‍යාය - 1

කටුසු සම්ප්‍රදාය අනුව නොකඩවා වැහි කාල ගොඩාක් ( මෙය ඉතා දිගු කාලයකි) තමා සතු රතු, කොළ, තැඹිලි, දුඹුරු වර්ණ හතරෙන් එකක් පමණක් පාවිච්චි කර ජීවත් වීම උත්තම කටුසු සම්ප්‍රදායකි. එවැන්නෙකුට මුළු කටුසු සමාජයම සත් කටුස්සෙකු ලෙස ගෞරව කරන්නේය. තවද එකී උත්තම කටුස්සාට තනි වර්ණයකින් ජීවිතය ගෙවන්නට අවස්ථාව හිමි වන්නේය.
තමා දන්නා අඳුනන මිත්‍රයෙකු මෙසේ උත්තම කටුස්සකු වීමට සුදුසුකමක් ලබමින් සිටිම ගැන වර්ණසේන පෞද්ගලිකව සන්තෝෂ විය.
‘’ කොහොමද උඹ අර ආසාවෙන් හපලා හපලා ගිල දාපු කහ පාට රෝස මල .........? ‘’ හරිත එක් වරම ඇසුවේය.
හිටියේ වෙන කල්පනාවක නිසා වර්ණසේනට රතු පාටට හැරෙන්නට අමතක විය. ඇරත් තව දුරටත් කහ පාටට ආසා නොකරන නිසා රතු පාට වීමට අමුතුවෙන් ආයාසයක් යෙදිය යුතුය.ඔහුට දැන් මූනිච්චාවට පාට වෙනස් කිරීම තිත්ත වී ගොසින්ය.
එහෙත් තමා දුර දිග නොබලා කර ගත්තේ විනාශයක් බව වැටහෙන්නට පටන් ගත්තේ ඉබේම ඇඟ තැඹිලි පාටට හැරෙද්දිය.


මහා සම්මත වර්ණ න්‍යාය - 2
මොනයම් හෝ කටුස්සෙක් ප්‍රසිද්දියේ රස කර කර කෑ රෝස පොහොට්ටුවක්  ගැන මතක් කළ විට, ලෝකයේ කොයි තැනක සිටිය ද රතු පාටට හැරිය යුතුය.
යම් හෙයකින් එසේ නොහැකි වුවහොත්, ඒ මොහොතේ වූ වර්ණය ඔහුට අහිමි වී යන්නේය.

*        *        *        *        *

දැඩි හිරු එළියට මුළු පොළවම කර කුට්ටන් වී ගොසිනි. වැටුනු කොට්ටම්බ කොළ තද තැඹිලි පැහැ වන තෙක් පිච්චි ගොසින්ය. දශමයක් සෙලවුනත් චරස් බරස් ගා සද්ද වන්නේය. එහෙයින් වර්ණසේන එකදු අඬුවක් වත් නොසොල්වමින් කොළ ගොඩ මත සිට ඝණ රළු හමට අව්ව වැටෙන්නට සැලැස්සුවේය. දැනෙන සනීපයට ඔහුගේ ඇස් භාගයට පියවී ගියේය.

‘’ අම්මේ ! මෙන්න මේ තද නිල් පාට රෝස පැලේ තිබ්බ පොහොට්ටුව කසුට්ටෝ කාලා............. ‘’ වචන පැටලි පැටලි කියමින් මිනිස් පැටියා කෑගසාගෙන නිවසට දිව්වේය.........
‘’ අයියෝ! ඒ පොහොට්ටුව කාලාද? ‘’ වර්ණසේනට එකවර කියැවුනේය.
තද නිල් පාට රෝස පොහොට්ටුවක් යනු කටුස්සෙකුගේ පරම සිහිනයකි. සුරූපි සහ විරූපි සුරඟන කතාවේ මැටිල්ඩා ඉල්ලන්නේ ද නිල් පාට රෝස මලක් බව වර්ණසේනට එකවර මතක් විය. ඔහු සුසුමක් ලෑවේය. කටුස්සෙකු ලෙස පළමු වරට කඳුළු සැලුවේය.
‘’මම අඬනවා ‘’වර්ණසේන තමාටම කියා ගත්තේය.
‘’ පලයං බං යන්න............. උඹ ඔය අව්වේ ඉඳලා........... ‘’ හරිත කීවේය.
තණ කොළ ගොල්ලේ හරිත සිටි බව වර්ණසේනට මතක් වූයේ එවිටය.
සමහර විට හරිත නිවැරදි වන්නට පුළුවන්. කඳුළු ආවේ අව්ව නිසා විය හැකිය.
දැන් වැදගත් කාරණය නම් ඉන්ද්‍රචාපට ( නිල් රෝස මල කැවේ ඔහුය) වෙනසක් නොපෙන්වා සුභ පැතීමය.
‘’ My heartiest congratulations on your success ‘’ අමාරුවෙන් දිව පැටලෙමින් වර්ණසේන සුභ පැතුවේය.
නිල් රෝස මල සිහිවි තමා කොයි මොහොතේ රතු වේ දැයි ඔහු බිය විය, එහෙත් රතු පාලනය කර ඔහුට හොඳට හුරු පුරුදුය. ඔහු සාර්ථකව විනාඩියක් ඉන්නට ඇත. එහෙත් ඉන්ද්‍රචාප හදිසියේම රෝස මලේ නටුවේ පිට අතුල්ලා කසා ගැනිම නිසා වර්ණසේනගේ සියළු දරා ගැනීම් දියවී ගියේය.
අහෝ වර්ණසේන වලිගයේ සිට කොළ පාට වෙන්නට පටන් ගත්තේය.

මහා සම්මත වර්ණ න්‍යාය - 3
ලොව වෙසෙන ඕනෑම කටුස්සෙක් අන් කටුස්සෙක් හපා රස රස කර ගිල දැමු රෝස පොහෝට්ටුක් හේතු කර රතු පැහැ වන්නේ ද, එය මහා සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා අවසන් වරට ඔහු සිටි වර්ණය ඔහුට අහිමි කරන්නේය.

*        *        *        *        *

දැඩි හිරු එළියට මුළු පොළවම කර කුට්ටන් වී ගොසිනි. වැටුනු පිහිඹියා හා කොට්ටම්බා කොළ තද දුඹුරු හා තැඹිලි පැහැ වන තෙක් පිච්චි ගොසින්ය. දශමයක් සෙලවුනත් චරස් බරස් ගා සද්ද වන්නේය.
එහෙත් අද වර්ණසේනට ඉර එළිය තපින්නට බැරිය. ඒ දුඹුරු ද තැඹිලි ද තව දුරටත් ඔහු සතු නොවන නිසාය.
දැන් ඔහු සතු පාට දෙක වන්නේ රතු සහ කොළය. එයින් සදාකාලිකව රතු පාටට විසීම බොළඳ ක්‍රියාවකි. රතු පාට යනු ඉඳහිට පිට දැමිය යුතු වටිනා පාටක් ලෙස වර්ණසේන විශ්වාස කළේය.
කොළ පාටින් ගෙවන දෙවන වැහි කාලය මෙය වුවද වැහි කාල බර ගණනක් කොළ පාටින් සිටියා ලෙස වර්ණසේනට දැනෙන්නට විට. කරගන්නට දෙයක් නොමැති කමින් එක පාටින් වැහි පහක් නොව පන්සීයක් සිටිය ද උත්තම කටුසු නාමය ලැබෙන්නේ නැත. දැන් වර්ණසේනට උන්නත් දාහයි මළත් දාහයි වැනිය.
ඔහු කම්මැලිකමට වසා උන් දෙනෙත් පියන් ඇරියේය. ඔහු දුටුවේ නිල් අහසය. නිල් අහසේ නීල කොබෙයියෙක් පියා සැලුවේය.
නිල් පාට! නිල් පාට!
වර්ණසේනගේ මුළු සර්වාංගයම රතු පාටට හැරුනේය. කවුරුත් ඉන්නවාදැයි හොරෙන්ම වටපිට බැලූ ඔහු ගිනියම් යකඩයක් මෙන් තමාගේ ඇඟ රතු පාටට හැරෙන්නට ඇර තව තවත් නිල් රෝස මල සිහිපත් කළේය.
‘’ ඕනෑ දෙයක් වෙච්චාවේ....! මං නිල් රෝස මලේ නටුව ඉස්සරහට ගියාම රතු පාට වෙනවා........ වෙන දෙයක් වෙච්චාවේ..... මේ ලෝකේ කටුස්සන්ට ආයේ අමුතුවෙන් නරක වෙන්න දෙයක් නැහැනේ.............. ‘’
ඔහු නැවතත් කොළ පාටට හැරුනේය.වේගයෙන් නිල් රෝස පැලය ළඟට ගියේය.
ඔහු හැකි උපරිමයෙන් තමා නිල් රෝස මලට දක්වන ආශාව සිහිපත් කළේය.
තමා නිල් රෝස පැළයට කථා කරන්නට පමා වූ බව ලැජ්ජාවෙන් පාපොච්ඡාරණය කළේය. එත් ඒ හැම දේම කළේ රෝස පොහෝට්ටු හපා ආශාවෙන් ගිල දැමීමට බව හිස් නටුවට කීවේය. ඔහු ඉතාමත් සංවේදී විය. එහු කටුස්සෙක් ලෙස දෙවෙනි වරට ද ඇඬුවේය. (පළමු වාරය ඔට්ටුයි නම්)
‘’මම අඩනවා ‘’ඔහු තමාටම කියා ගත්තේය.
‘’ උඹට ඇස් ලෙඩ වෙන්න ඇති. නැත්තම් ඇඟ කොළ පාටට තියෙද්දී කොහොමද කඳුළු එන්නේ........? ‘’
නැවතත් හරිත සිටි බව මතක් වූයේ ඔහුගේ වාචාල බාධා කිරිම නිසාය.
‘’ ඇඟ කොළ පාටට තියෙද්දී..........? ‘’  වර්ණසේනට මෙය මහා ගැටළුවකි. ‘’මෙතරම් නිල් රෝස මල ගැන ලෝභ උපදවද්දි‘’  ඔහු දෑස් තදින් වසා ගත්තේය. හොඳින් නිල් රෝස මල ගැන සිතුවේය. ඇත්තටම කඳුළු එනතෙක් සිතුවේය.

*        *        *        *        *
අවසාන මහා සම්මත වර්ණ න්‍යාය

මොනයම් හෝ කටුස්සෙක් අවසන් වර්ණ දෙකෙන් පමණක් කාලය ගත කරන සමයේ, එක වරකට වඩා වර්ණ දෙක මාරු කරන්නට යාම මහා ලොකු වරදකි. එවැන්නෙකුට ඔහු සිටි අවසන් වර්ණයෙන් මුළු ජීවිත කාලයම ගෙවන්නට සිදු වන්නේය.

*        *        *        *        *

ප.ලි

එදා සිට වර්ණසේනත්  අනේක් බොහෝ කටුස්සනුත් සතුටින් සහ සාමයෙන් තනි වර්ණයෙන් විසුවේාය . 

සැ.යු මෙහි එන සියළුම කටුස්සන් කල්පිත නොවෙති 

No comments:

Post a Comment