Saturday, May 5, 2012

fall in love with the D A R K


මගේ පාඩුව ( leave my alone )

මම නිදහසේ මගේ පෙට්ටගම උඩ ඇලවී උඩු බලි අතට පෙරලී අහස දෙස බල උන්නෙමි . යන්තම් මගේ පෙට්ටගම ගැස්සුනි . බැලින්නම්  එකෙක් මගේ පෙට්ටගම ගජරාමෙට අදින්න try  කරමින් සිටි . මට මල දොට්ට පැන්නේය.


"තොපිලට වෙන වැඩ නැද්ද යකුනු අනුන්ගේ දේවල් අදින්නේ ... කාලකන්නි හැත්ත " මම බන වැදුනෙමි .
"පලයව් තොපිත් ගිහින් මම වගේ පියන උඩ අල වෙයන් ... මොකාටවත් අත දාන්න බැරි වෙන්න  "


සියල්ලෝම එය එක හෙලා පිලිගත්තෝය . උන්ගේ බරසාර ඇඟවල් පද්ද පද්දා ගොස් උන් උන්ගේ පෙට්ටගම්  උඩට පැන්නෝය


" ..ට හු.... " මට කෑගසිනි.  පරණ පිත්තල පාටිවලට සහ උන්ගේ  බරට හිරවී   මගේ අත් දෙක වැලමිටට පහලින් බිඳී ගියේය.

Saturday, October 22, 2011

Assassination of Nithya (නිත්්‍යා ඝාතනය)


නැවැත්වූ දුම්රියෙන් ඉදිරියට එන සෑම මිරිවැඬි සඟලක් දෙසම ඔහු අවධානයෙන් බලා උන්නේය. මුහුණුවරින් හඳුනා ගන්නවාට වඩා නිවැරදිව කෙනෙකුගේ මිරිවැඬි සඟලකින් පුද්ගලයෙකු හඳුනාගත හැකි බව ඔහුගේ වෘත්තීමය අත්දැකීමෙන් ඔහු දන්නේය. ඇත්තම කීවොත් එසේ හඳුනාගත හැකි බව ඔහුගේ ප්‍රධාන පුහුණුකරු පවසා ඇත.  මෙය ඔහුගේ පළමු රාජකාරිය බැවින් හරියට ඔහු එය නොදන්නේය. එහෙත් ඔහු කිසිදිනක මුහුණට හමු නොවු ලිඛිතව උපදෙස් සහ අණ පමනක් දෙන ඔහුගේ ප්‍රධාන පුහුණුකරු කෙරෙහි විශ්වාසය තැබුවේය.

ඔහු මුලු උදය වරුව පුරාවටම ඔහුගේ ඉලක්කය පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා උන්නේය. මෙය ඔහුගේ පලමු රාජකාරිය නිසාදෝ ඔහුගේ උනන්දුව උදැසන තිබූ ආකාරයටම නොනැසී තිබුනේය . මධ්‍යහන දුම්රිය වේදිකාවට පැමිණියේය .වාසනාවකි ! ඔහු මෙතෙක් වෙලා බලා උන් මිරිවැඬි සඟල 5 වැනි හෝ 6 වැනි මගියා ලෙස වේදිකාවට පිවිසියේය . පුහුණුකරු 100% ක් ම නිවැරදිය. ඇය පැළඳ සිටියේ ඉතා චාම් දුඹුරු මිශ්‍ර හම් මිරිවැඬි සඟලකි. කකුලේ මහපට හා දබර ඇඟිලි අතරින් බෙදුනු හීනි පටි දෙකකින් පමණක් යුත් ඒ මිරිවැඬි සඟල ඔහු දුටු පමණින්ම හඳුනා ගත්තේය. ඔහු මෙතෙක් වේලා සුරතෙහි කරකවමින් උන් දැති සහිත පිහිය අමෝරා ගත්තේය.

පරිණත කුලී ඝාතකයෙකු වීමට නම් තම රෞද්‍ර බව මුළු ජනකායටම පෙන්විය යුතුය. පොළවට වාරු දී ඉලක්කය දෙසට දිව යද්දී “ දැන් කවුරු මැරේවිද ? “ වැනි දෙගිඩියාවක් වටපිටාවේ ඇති විය යුතුය. ඉලක්කය වෙත පිහිය අමෝරද්දි පිහියේ කෙළවර තම උරහිසේ වැදී තම ඇගින් ලේ ගලමින් මෙම ඝාතනය සිදු කළ හැකි නම් එය තවත් නාට්‍යාන්විත වන්නේය. එවිට බලා හිටිය උන්ට ඌ ලේ ගලද්දිම ගිහින් ඇන්නනේ අර කෙල්ලට . තිරිසනා වැනි රස කථා කියන්නට පුලුවන්ය. කුලී ඝෘතකයෙකුට එවැන්නකින් එහා වටිනා දෙයක් නැත.

දැන් මිරිවැඩි සඟල තමා දෙසට ඇදෙන බැවි ඔහුට හොඳටම පැහැදිලිය. ඔහු හුරු කකුලට වාරු ගෙන ඉදිරියට පැන්නේ ඇයගේ ළය හරහා පිහිය කිඳා බැස්ස වීමටයි. එහෙත් ගුවනේ පාවී යන නිමේෂයට මේ ඔහුට සබෑවටම ඝාතනය කරන්නට ලැබුණු තැනැත්තිය ද යන විචිකිච්ඡාව ඔහු තුළ ජනිත විය. තමාගේ පළමු රාජකාරි දිනයේදීම අමනයෙකු ව , තමාව ප්‍රවීනයෙකු ලෙස අධිතක්සේරු කර ගැනීම ගැන ඔහු ඔහුටම දොස් පවරන්නට පටන් ගත්තේය. ඇයගේ මුහුණුවර නොබැලීම තමා කළ මහා වැරැද්දක් යැයි ඔහුට සිතුනේය. මෙකී දෙගිඩියාව ඔහුගේ ප්‍රවේගය බාල කළේය. Troy චිත්‍රපටියේ ආකේලියස් අනින වර්ගයේ පිහි ඇනුමකට ගුවන් ගතවූ ඔහු එලෙසම පොළව මතට පතිත වූයේ ඉලක්කය දෙස නොබලමින්ය. ආකේලියස්ට තමාගේ පහර විශ්වාස වුවද ඔහුට දැන් ඔහුව අවිශ්වාසය. එහෙයින් විශ්වාසය නිසා නොව , ඇතිවූ දෙගිඩියාව නිසා පසු පස නොබලා ඔහු වේදිකාවෙන් ඉවතට දිව ගියේය.

“ ආමන්ත! උඹ නම් මහ බූරුවෙක් “ ඔහු තමාටම බැන ගත්තේය. “ ආමන්ත! චික් ඒක Hit Man කෙනෙක්ට කොහොමවත් නොගැලපෙන නමක් “ ඔහු තමාගේ නම ගැන ද පසුතැවුනේය.

 

*        *        *        *        *

දුම්රියේ නගින්නට පැමිණි කෙනෙකු තමාගේ ඇ‍ඟේ වැදුනු නිසාවෙන් නිත්‍යා හරියටම අවදි වූවාය. සෙනඟ පිරි වේදිකාවේ වැටෙන්නට ගිය තමාව අවදි කරවීම ගැන ඔහුට ස්තූති කරන්නට ආයේ හැරුනු ඇයට ඔහුව දැක ගන්නට ලැබුණේය. ඔහු පෙනුමෙන් ඉතා කඩවසම්ය. පුලුල් නළල සහ පැළදි උපැස් යුවළ ඔහුට බුද්ධීමත් බවක් ආරෝපණය කළේය.

ඉතා දිගු දුම්රිය ගමනක් නිසාවෙන් තෙහෙට්ටුවට පත්ව, අවසිහියෙන් සිටි තමාව බේරා ගැනීම ගැන කෙලෙස ස්තූති කළ යුතුදැයි ඇයට සිතා ගන්නට නොහැකි විය. ඇය ස්තූති පූර්වකව ඔහු සමග හිනැහුනාය. ඔහු ද ලයාන්විතව ඇය හා සිනාසෙනු ඇයට මතකය. ඇය ඔහුට වාරු වූවාය. ඒ මංදැයි ඇය හරි ආකාරව නොදත්තේය.එහෙත් මොහොතකින් සියල්ල බොඳවී යන්නට පටන් ගත්තේය.

*        *        *        *        *

“ ශෙඃ අර කාළකන්නියා, ඌ ඇන්නා නේද පිහියෙන් අර කෙල්ලට...........! යකෝ ඒක පිහියක් ද කියතක් ද............... මරණවනම් ඔයිට වඩා ලේසී විධි නැද්ද...? තිරිසනා “
වේදනාවෙන් කැරකැවෙන ඇය දෙස ඔහු බලා උන්නේය. දුම්රිය ස්ථාන දෙකක් තිස්සේ පසු පසින් ආවද දැක ගන්නට නොහැකි වූ මුහුණ ඔහුට දැන් යන්තමින් පෙනුනේය. සැබවින්ම එය අලංකාරය. යම් සරාගි බවක් ද මුසුවූ ඒ දෙනෙත් ඔහුට කෙස් රොද අතරින් පෙනෙන්නට විය.
“ අයියෝ මහිල්! උඹ ඇයි එක තප්පරයක් කලින් කෝච්චියෙන් නොබැස්සේ...........! උඹ හැමදාම පරක්කුයි මෝඩයා. අනික නිත්‍යාට තිබ්බ තදියම මොකක්ද කෝච්චියෙන් බහින්න” ඔහු තමාටම දොස් පවරා ගත්තේය.
වේදනාවෙන් විසිවී ගිය ඈ ඔහු වෙත තල්ලු වී එනු ඔහු දුටුවේය. තමා සමග ඇය සිනාසෙන බව ඔහු දුටුවේය. ප්‍රමාදය ගැන නැ‍ඟෙන පසුතැවිල්ල යටපත් කර ගනිමින් ඔහු ඇය සමග සිනාසුනේය. තවත් ප්‍රමාද විය නොහැක. කෙලෙස හෝ ඇවය මේ වේදනාවෙන් ගලවා ගත යුතුය. මේ වේදනාවෙන්, මේ පිහි පහර හේතුවෙන් ඇයට මැරෙන්නට ඉඩ දෙන්නට ඔහුට කෙලෙසකවත් නොහැකිය.
තම ගමන් මල්ලෙහි වූ මොෆේන් අවක්ෂේපණය ඇයගේ ඇඟට ඔහු එන්නත් කළේය. වේදනාව ක්ෂණයෙන් පහව ගොස් ඇය දෙනෙත් පියා ගත්තේ ඇතිවූ සහනයට බව ඔහුට හොඳාකාරවම විශ්වාසය. ඔහු ඇයව තමාගේ අතට වාරු කර ගත්තේය.



“ මහිල්! උඹ හිතන තරම් උඹ අවාසනාවන්ත නැහැ “ ඔහු තමාටම කියා ගත්තේය.
දුම්රිය වේදිකාවේ උන් කරුණාවන්ත මැදිවියේ කාන්තාවන් කිහිප දෙනෙකුගේ වාරුවෙන් ඇය කෙළවර වූ බංකුවක් වෙත රැගෙන යන්නට ඔහු සමත් විය. ඇයගේ හිස තම උකුලේ හොවාගත් ඔහු ඇගේ කකුල් බංකුව මතට තබන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේය. ඉල්ලීම ඉටු කළ ඔවුන් “ වයිෆ්ට සනීප නැහැ වගේනේ “ යැයි කාරුණිකව ඇසුවෝය.
ඔවුන්ගේ අනුකම්පාව භුමිකම්පාවක් විය හැකි බව තේරුම් ගත් ඔහු ඔවුන් එලවා දැමීමේ අරමුණින් මෙලෙස කීවේය.
“ ඔව් එයාට නිතරම කලන්තේ හැදෙනවා.........ටිකකින් හරියයි..... මම බෙහෙත් දුන්නා!”
පිළිතුරින් සෑහිමකට පත්වී ඔවුන් එතැනින් ඉවත් වූහ.
ඔහු සීරුවෙන් තමන්ගේ ගමන් මල්ලට අත දැමුවේය. තමාට ලැබුණු ඉලක්කය ඇයමදැයි තහවුරු කර ගැනීමට තමා ලඟ තිබූ ඡායාරූපය ඇගේ මුහුණ අසලින් තබමින් සංසන්දනයක යෙදුනේය. අත්දැකීම් බහුල තමාට කෙලෙසකවත් වරදින්නට නොහැකි බව ඔහු දන්නේය .තමා අති සාර්ථකව ඉලක්කය තමා යටතට ගත් බව ඔහු තහවුරු කරගත්තේය.
දැන් කළ යුතුව ඇත්තේ ඇයගේ වේදනාව සම්පූර්ණයෙන් පහව ගිය පසු තවත් සාන්ද්‍ර මෝෆේන් අවක්ෂේපණයක් දී ඇය ඝාතනය කර දැමීමය. පුරුද්දක් ලෙස මෝෆේන් සාම්පල වැඩිපුර ලඟ තබා ගැනීම ගැන ඔහු ඔහුටම ස්තූති කර ගත්තේය.
ඔහු හිස ඉහළට හරවා යන්තම් දෙනෙත් පියා ගත්තේ , ඇයට සිහිය ඒමට කල්ගත වන බව දත් නිසාය. මෙලෙස වැඩි වේලාවක් හිඳින්නට ලැබුණේ නැත.
“ මහත්තයා! මේ නෝනාගේ සෙරෙප්පු දෙක අතන වැටිලා තිබුණා “ කෙට්ටු මිටි පෝටර්වරයෙකු ඇයගේ මිරිඩැඬි සඟල ඔහුට ගෙනැවිත් දුන්නේය.
එය ලා දුඹුරු පැහැති හම්වලින් තැනූ මිරිවැඬි සඟලකි .එවර ඔහු තුළ අවිශ්වාසය ගොඩනැගෙන්නට විය. මේ සැබැවින්ම ඔහුට ලැබුන් ඉලක්කයමද .
ඔහු නැවත ඡායාරූපය බැලුවේය. එය උඩුකය සමීප ඡායාරූපයක් වූ බැවින් ඇය කුමනාකාර විලාසිතා කරන්නනියක් දැයි  නිගමනය කරන්නට නොහැකි විය.
“ ෂිඃ මහිල් නියම කුලී ඝාතකයෙක් විදියට උඹට මුහුණුවර සහ සපත්තු දෙකම බලා ගන්න තිබුණා “ ඔහු කෝපයෙන් යකඩ බංකුවේ ඇන්දට ගැසුවේය.
ඔහුගේ කැළඹුනු සිත සන්සුන් කර ගන්නට ඔහු ටික වේලාවක් ගත්තේය. ක්ෂණයකින්, ඔහු අනෙක් මෝෆේන් අවක්ෂේපය ඇයගේ සුෂුම්නාව හරහා ශරීරගත කොට ඇය ඝාතනය කර එතැනින් නික්මෙන්නට ආරම්භ කළේය. 
                                               *        *        *        *        *
ඇය වේදනාවෙන් දෙනෙත් හැරියාය. දීර්ඝ දුම්රිය ගමන නිසා වූ තෙහෙට්ටුවත්, දුම්රිය වේදිකාවේ සිදුවන්නට ගිය අනතුරත්, තමා බේරාගත කඩවසම් තරුණයාත් ඇයට යාන්තමින් මතකය.
මෙලෙස තමාව බංකුවක නිදි කරවන්නට ඇත්තේ ඔහු විය යුතුයැයි නිත්‍යා සිතුවාය. තමා වැඩිවියට එළඹි දා තමාට තෑග්ගක් ලෙස ලැබුණු අලංකාර ලා දුඹුරු පැහැති සෙරෙප්පු ජෝඩුව බංකුව අසල බිම වැටී ඇති අයුරු වැතිරී සිටින ඇයට පෙනිනි.
මෙතරම් අකරතැබ්බයකට පසුත් එය තමා සතු වීම ගැන ඇයට පොඩි සතුටක් ඇති විය.
එකවරම බංකුව පිටුපසින් මහා ශබ්දයක් ඇති විය. යමක් බංකු දාරයේ වේගයෙන් වැදුනේය . ඇය විසිවි ගොස් බිම වැටුණි. 
                                                  *        *        *        *        *
ඉලක්ක වෙඩික්කරුවකු වීම යනු ඕනෑම කුලී ඝාතකයෙකුගේම සිහිනයකි. පුහුණුවක් නොලදද, දිගු බැරලයකින් යුතු ස්නයිපර් ගිනි අවියක් තමා සතු වීම තමාව ප්‍රවීන ඝාතකයෙකු කරන්නක් බව ගගන තරයේම විශ්වාස කළේය.
මධ්‍යහන දුම්රිය පැමිණි වේලාවේ සිටම ඔහු දුර දක්නයට නෙත් යොමා සිටිය ද අවැසි ප්‍රභූ ඉලක්කය ලබාගන්නට ඔහුට නොහැකි විය. මොනයම් හෝ ප්‍රභූවරයෙකු ඝාතනය කිරීම යනු මුලු සමාජයම කළඹවන සුළු සිද්ධියකි . මෙය අසවල් ගරිල්ලා ව්‍යාපාරයේ වැඩක් යැයි මිනිසුන් එක එක සංවිධාන වලට වගකීම් පටවන්නේය. දගලපු දැගලිල්ට මම හිතුවා කව්රුහරි වෙඩිතියයි කියලා මහජනයා ඔවුන්ගේ පුර්ව අනාවැකි සිහිපත් කරන්නේය.
ෂං මාර ජොලි වැඩක් නේ ගගන තමාටම කියා ගත්තේය .
ඔහු අසා ඇති පරිදි ඉලක්කයක් ලබා ගැනීමට නම් පුද්ගලයාගේ ඡායාරූපයක් හෝ වෙනයම් බාහිර ලක්ෂණයක් අවැසිය. එහෙත් ඒවා සොයමින් කාලය වැය කරන්නට තරම් ආශාවක් ඔහුට නැත. කොයි මොහොතේ හෝ තුවක්කුව අයිතිකරු විසින් නැවත ඉල්ලන බව ඔහු දත්තේය .
ඔහු වේදිකාවේ වම් කෙළවර සිට දකුණු කෙළවරට තුවක්කුව මානමින් ආවේය. එකවරම බංකුවක් මත වැතිරී උන් යුවතියක් ඔහු තුවක්කුවේ දුරදක්නය හරහා දුටුවේය. වැටුනු කොණ්ඩය නිසා ඇගේ මුහුණුවර ඔහුට පැහැදිලි නොවීය. ඇයගේ දෙපාවල මිරිවැඩි සඟලක් ද නොවීය. දෙවරක් නොසිතූ ඔහු වෙව්ලන අතින් තුවක්කුවේ කොකා ගැස්සුවේ වෙඩි තබා ඉක්මනින් තුවක්කව නැවත භාර දිය යුතු බැවිනි.


Sunday, October 16, 2011

පෙම් ගස ( tree of love )

නාගසක් 
උණ ගසක්
පතොක් ගසක් 
හෝ 
බතල වැලක් විය හැකි 


එහෙත් .
ජැක්ගේ අරුම පුදුම බෝංචිය හමු නොවු 


ආත්මාර්ථකාමී මහපොළවේ මුල් ඇද ,
පරාර්ථකාමී අහස දෙසට වැඩෙනා ......


පෙම් ගස .

Monday, September 19, 2011

වර්ණසේන හෙවත් chater බුවා ( a short story )


දැඩි හිරු එළියට මුළු පොළවම කර කුට්ටන් වී ගොසිනි. වැටුනු පිහිඹියා කොළ තද දුඹුරු පැහැ වන තෙක් පිච්චි ගොසින්ය. දශමයක් සෙලවුනත් චරස් බරස් ගා සද්ද වන්නේය. එහෙයින් වර්ණසේන එකදු අඬුවක් වත් නොසොල්වමින් කොළ ගොඩ මත සිට ඝණ රළු හමට අව්ව වැටෙන්නට සැලැස්සුවේය. දැනෙන සනීපයට ඔහුගේ ඇස් භාගයට පියවී ගියේය.
‘’ඒයි උඹ ඔතන ඉන්නවද? මට පේන්නේ නැහැ .............. ‘’ තණ කොළ ගොල්ලෙන් එහාට අඩියක් තියා ගන්නට නොහැකිව කොළ පාට කටුස්සා හරිත ඇසුවේය.
‘’ආ ඔව් ඔව් මම ඉන්නවෝ.................! ඔන්න බලා ගනින්.............. ‘’
හරිත වඩාත් ප්‍රිය කරන තැඹිලි පාටට හැරෙමින් වර්ණසේන කීවේය.
‘’ආපෝ ඇති ! ඇති! ආයේ හිටපු පාටටම හැරියන් ......... උඹට ඔය පාට ඇරෙන්න වෙන පාටක් තිබ්බෙම නැද්ද ……..‘’
තැඹිලි පාට ඔහුගේ ප්‍රියතම පාට වුවත්, ඔහුගේ මතකයේ ඇත්තේ වෙනස් ලෙසකටය. යම් හෙයකින් තැඹිලි පාට මතක් වී ඔහුට ඇය මතක් වුවහොත් ................ වැසි කාල ගණනාවක් පුරා ඔහු යෙදූ උත්සාහය අපතේ යන්නේය.
‘’උඹ දැන් වැහි කාල කීයක් නොකඩවා කොළ පාටට හිටියද? ………‘’වර්ණසේන ඇසුවේය.
‘’මේ හරියටම තුන් වෙනි වැහි කාලේ........... ‘’  ඔහු ගණනකට නොගෙන කීවද, එහි යම් ආඩම්බරකාර බවක් විය.
‘’ ඇත්තම කියපං! උඹ ඔය වැහි කාල තුනටම එක පාරක්වත් අර රෝස පොහොට්ටුව මතක් වෙලා රතු පාට උනේ නැද්ද ..........? ‘’ තමාගේ දහ අතේ දුවන සිත ගැන සිතමින් වර්ණසේන ඇසුවේය.
‘’ මං අහන්නේ නිකං තැඹිලි පාට වෙන දෙයත් දැකලවත් උඹ රතු පාට උනේ නැද්ද?........‘’ වර්ණසේන ප්‍රශ්නය දිග්ගැස්සුවේය.
‘’පිස්සුද ඕයි ..........! එහෙනම් තෝ තැඹිලි පාට වෙච්ච වෙලාවේ මං වෙනස් වෙන්න එපැයි........... ‘’ සුපුරුදු ලෙස ඔහු නුවණක්කාර තර්කයක් ඉදිරිපත් කළේය.



මහා සම්මත වර්ණ න්‍යාය - 1

කටුසු සම්ප්‍රදාය අනුව නොකඩවා වැහි කාල ගොඩාක් ( මෙය ඉතා දිගු කාලයකි) තමා සතු රතු, කොළ, තැඹිලි, දුඹුරු වර්ණ හතරෙන් එකක් පමණක් පාවිච්චි කර ජීවත් වීම උත්තම කටුසු සම්ප්‍රදායකි. එවැන්නෙකුට මුළු කටුසු සමාජයම සත් කටුස්සෙකු ලෙස ගෞරව කරන්නේය. තවද එකී උත්තම කටුස්සාට තනි වර්ණයකින් ජීවිතය ගෙවන්නට අවස්ථාව හිමි වන්නේය.
තමා දන්නා අඳුනන මිත්‍රයෙකු මෙසේ උත්තම කටුස්සකු වීමට සුදුසුකමක් ලබමින් සිටිම ගැන වර්ණසේන පෞද්ගලිකව සන්තෝෂ විය.
‘’ කොහොමද උඹ අර ආසාවෙන් හපලා හපලා ගිල දාපු කහ පාට රෝස මල .........? ‘’ හරිත එක් වරම ඇසුවේය.
හිටියේ වෙන කල්පනාවක නිසා වර්ණසේනට රතු පාටට හැරෙන්නට අමතක විය. ඇරත් තව දුරටත් කහ පාටට ආසා නොකරන නිසා රතු පාට වීමට අමුතුවෙන් ආයාසයක් යෙදිය යුතුය.ඔහුට දැන් මූනිච්චාවට පාට වෙනස් කිරීම තිත්ත වී ගොසින්ය.
එහෙත් තමා දුර දිග නොබලා කර ගත්තේ විනාශයක් බව වැටහෙන්නට පටන් ගත්තේ ඉබේම ඇඟ තැඹිලි පාටට හැරෙද්දිය.


මහා සම්මත වර්ණ න්‍යාය - 2
මොනයම් හෝ කටුස්සෙක් ප්‍රසිද්දියේ රස කර කර කෑ රෝස පොහොට්ටුවක්  ගැන මතක් කළ විට, ලෝකයේ කොයි තැනක සිටිය ද රතු පාටට හැරිය යුතුය.
යම් හෙයකින් එසේ නොහැකි වුවහොත්, ඒ මොහොතේ වූ වර්ණය ඔහුට අහිමි වී යන්නේය.

*        *        *        *        *

දැඩි හිරු එළියට මුළු පොළවම කර කුට්ටන් වී ගොසිනි. වැටුනු කොට්ටම්බ කොළ තද තැඹිලි පැහැ වන තෙක් පිච්චි ගොසින්ය. දශමයක් සෙලවුනත් චරස් බරස් ගා සද්ද වන්නේය. එහෙයින් වර්ණසේන එකදු අඬුවක් වත් නොසොල්වමින් කොළ ගොඩ මත සිට ඝණ රළු හමට අව්ව වැටෙන්නට සැලැස්සුවේය. දැනෙන සනීපයට ඔහුගේ ඇස් භාගයට පියවී ගියේය.

‘’ අම්මේ ! මෙන්න මේ තද නිල් පාට රෝස පැලේ තිබ්බ පොහොට්ටුව කසුට්ටෝ කාලා............. ‘’ වචන පැටලි පැටලි කියමින් මිනිස් පැටියා කෑගසාගෙන නිවසට දිව්වේය.........
‘’ අයියෝ! ඒ පොහොට්ටුව කාලාද? ‘’ වර්ණසේනට එකවර කියැවුනේය.
තද නිල් පාට රෝස පොහොට්ටුවක් යනු කටුස්සෙකුගේ පරම සිහිනයකි. සුරූපි සහ විරූපි සුරඟන කතාවේ මැටිල්ඩා ඉල්ලන්නේ ද නිල් පාට රෝස මලක් බව වර්ණසේනට එකවර මතක් විය. ඔහු සුසුමක් ලෑවේය. කටුස්සෙකු ලෙස පළමු වරට කඳුළු සැලුවේය.
‘’මම අඬනවා ‘’වර්ණසේන තමාටම කියා ගත්තේය.
‘’ පලයං බං යන්න............. උඹ ඔය අව්වේ ඉඳලා........... ‘’ හරිත කීවේය.
තණ කොළ ගොල්ලේ හරිත සිටි බව වර්ණසේනට මතක් වූයේ එවිටය.
සමහර විට හරිත නිවැරදි වන්නට පුළුවන්. කඳුළු ආවේ අව්ව නිසා විය හැකිය.
දැන් වැදගත් කාරණය නම් ඉන්ද්‍රචාපට ( නිල් රෝස මල කැවේ ඔහුය) වෙනසක් නොපෙන්වා සුභ පැතීමය.
‘’ My heartiest congratulations on your success ‘’ අමාරුවෙන් දිව පැටලෙමින් වර්ණසේන සුභ පැතුවේය.
නිල් රෝස මල සිහිවි තමා කොයි මොහොතේ රතු වේ දැයි ඔහු බිය විය, එහෙත් රතු පාලනය කර ඔහුට හොඳට හුරු පුරුදුය. ඔහු සාර්ථකව විනාඩියක් ඉන්නට ඇත. එහෙත් ඉන්ද්‍රචාප හදිසියේම රෝස මලේ නටුවේ පිට අතුල්ලා කසා ගැනිම නිසා වර්ණසේනගේ සියළු දරා ගැනීම් දියවී ගියේය.
අහෝ වර්ණසේන වලිගයේ සිට කොළ පාට වෙන්නට පටන් ගත්තේය.

මහා සම්මත වර්ණ න්‍යාය - 3
ලොව වෙසෙන ඕනෑම කටුස්සෙක් අන් කටුස්සෙක් හපා රස රස කර ගිල දැමු රෝස පොහෝට්ටුක් හේතු කර රතු පැහැ වන්නේ ද, එය මහා සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා අවසන් වරට ඔහු සිටි වර්ණය ඔහුට අහිමි කරන්නේය.

*        *        *        *        *

දැඩි හිරු එළියට මුළු පොළවම කර කුට්ටන් වී ගොසිනි. වැටුනු පිහිඹියා හා කොට්ටම්බා කොළ තද දුඹුරු හා තැඹිලි පැහැ වන තෙක් පිච්චි ගොසින්ය. දශමයක් සෙලවුනත් චරස් බරස් ගා සද්ද වන්නේය.
එහෙත් අද වර්ණසේනට ඉර එළිය තපින්නට බැරිය. ඒ දුඹුරු ද තැඹිලි ද තව දුරටත් ඔහු සතු නොවන නිසාය.
දැන් ඔහු සතු පාට දෙක වන්නේ රතු සහ කොළය. එයින් සදාකාලිකව රතු පාටට විසීම බොළඳ ක්‍රියාවකි. රතු පාට යනු ඉඳහිට පිට දැමිය යුතු වටිනා පාටක් ලෙස වර්ණසේන විශ්වාස කළේය.
කොළ පාටින් ගෙවන දෙවන වැහි කාලය මෙය වුවද වැහි කාල බර ගණනක් කොළ පාටින් සිටියා ලෙස වර්ණසේනට දැනෙන්නට විට. කරගන්නට දෙයක් නොමැති කමින් එක පාටින් වැහි පහක් නොව පන්සීයක් සිටිය ද උත්තම කටුසු නාමය ලැබෙන්නේ නැත. දැන් වර්ණසේනට උන්නත් දාහයි මළත් දාහයි වැනිය.
ඔහු කම්මැලිකමට වසා උන් දෙනෙත් පියන් ඇරියේය. ඔහු දුටුවේ නිල් අහසය. නිල් අහසේ නීල කොබෙයියෙක් පියා සැලුවේය.
නිල් පාට! නිල් පාට!
වර්ණසේනගේ මුළු සර්වාංගයම රතු පාටට හැරුනේය. කවුරුත් ඉන්නවාදැයි හොරෙන්ම වටපිට බැලූ ඔහු ගිනියම් යකඩයක් මෙන් තමාගේ ඇඟ රතු පාටට හැරෙන්නට ඇර තව තවත් නිල් රෝස මල සිහිපත් කළේය.
‘’ ඕනෑ දෙයක් වෙච්චාවේ....! මං නිල් රෝස මලේ නටුව ඉස්සරහට ගියාම රතු පාට වෙනවා........ වෙන දෙයක් වෙච්චාවේ..... මේ ලෝකේ කටුස්සන්ට ආයේ අමුතුවෙන් නරක වෙන්න දෙයක් නැහැනේ.............. ‘’
ඔහු නැවතත් කොළ පාටට හැරුනේය.වේගයෙන් නිල් රෝස පැලය ළඟට ගියේය.
ඔහු හැකි උපරිමයෙන් තමා නිල් රෝස මලට දක්වන ආශාව සිහිපත් කළේය.
තමා නිල් රෝස පැළයට කථා කරන්නට පමා වූ බව ලැජ්ජාවෙන් පාපොච්ඡාරණය කළේය. එත් ඒ හැම දේම කළේ රෝස පොහෝට්ටු හපා ආශාවෙන් ගිල දැමීමට බව හිස් නටුවට කීවේය. ඔහු ඉතාමත් සංවේදී විය. එහු කටුස්සෙක් ලෙස දෙවෙනි වරට ද ඇඬුවේය. (පළමු වාරය ඔට්ටුයි නම්)
‘’මම අඩනවා ‘’ඔහු තමාටම කියා ගත්තේය.
‘’ උඹට ඇස් ලෙඩ වෙන්න ඇති. නැත්තම් ඇඟ කොළ පාටට තියෙද්දී කොහොමද කඳුළු එන්නේ........? ‘’
නැවතත් හරිත සිටි බව මතක් වූයේ ඔහුගේ වාචාල බාධා කිරිම නිසාය.
‘’ ඇඟ කොළ පාටට තියෙද්දී..........? ‘’  වර්ණසේනට මෙය මහා ගැටළුවකි. ‘’මෙතරම් නිල් රෝස මල ගැන ලෝභ උපදවද්දි‘’  ඔහු දෑස් තදින් වසා ගත්තේය. හොඳින් නිල් රෝස මල ගැන සිතුවේය. ඇත්තටම කඳුළු එනතෙක් සිතුවේය.

*        *        *        *        *
අවසාන මහා සම්මත වර්ණ න්‍යාය

මොනයම් හෝ කටුස්සෙක් අවසන් වර්ණ දෙකෙන් පමණක් කාලය ගත කරන සමයේ, එක වරකට වඩා වර්ණ දෙක මාරු කරන්නට යාම මහා ලොකු වරදකි. එවැන්නෙකුට ඔහු සිටි අවසන් වර්ණයෙන් මුළු ජීවිත කාලයම ගෙවන්නට සිදු වන්නේය.

*        *        *        *        *

ප.ලි

එදා සිට වර්ණසේනත්  අනේක් බොහෝ කටුස්සනුත් සතුටින් සහ සාමයෙන් තනි වර්ණයෙන් විසුවේාය . 

සැ.යු මෙහි එන සියළුම කටුස්සන් කල්පිත නොවෙති